ශ්‍රී ලංකාවට සහය දැක්වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි.

වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දක්වන බව ජාත්‍යන්තරමූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සෙසු පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වෙමින් මෙරට ආර්ථික අර්බුදය විසඳීම සඳහා සහය දක්වන බවයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මෙරට බලධාරීන් කළ ඉල්ලීමකට අනුව තාක්ෂණික සාකච්ඡා වටයක් අප්‍රේල් මස 18 – 22 අතර අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික හා මූල්‍ය ප්‍රවණතා, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මෙන් ම වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූවන් කෙරෙහි ඇති වන අහිතකර බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක අවශ්‍යතාව ද මෙහි දී සාකච්ඡා කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ පැවැති මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

මාධ්‍ය ඒකකය,

මුදල් අමාත්‍යාංශය.

Press Release