මත්පැන් බෝතල් මත යෙදීමට නියමිත ආරක්ෂිත සළකුණ පිළිබදව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළකර ඇති ප්‍රවෘත්තිය පිළිබදවයි.

2021.12.25 වන දින පස්වරු 08.35 ට ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළකරන ලද “රාජපක්ෂ පුතුන්ගේ තවත් මහා ජාවාරමක්! දිනක ගැහිල්ල කෝටිය පනී!” යන මැයෙන් යුතු වූ ප්‍රවෘත්තිය පදනම් විරහිත, දේශපාලන අභිලාෂයන්ගෙන් යුතු හා අදාළ කරුණු පිළිබඳ නිසි අවබෝධයකින් තොරව පළකරන ලද්දක් බව මෙයින් අවධාරණය කරනු ලැබේ.

එම ප්‍රවෘත්තියට අදාළ පහත දැක්වෙන කරුණු ජනමාධ්‍යයන්ගේ/ මහජනතාවගේ දැනගැනීම සඳහා මින් ඉදිරිපත් කරනු ලැබේ.

1. හිටපු මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ 2016 හා 2017 වසරවල අයවැය යෝජනාවන්ට අනුව, මෙම ආරක්ෂිත ස්ටිකර හා ආරක්ෂිත ස්ටිකර කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අදාල කටයුතු සිදු කර ඇත. කෙසේ වුව ද අදාළ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් (MSP) ආයතනය වෙත පිරිනමා ඇත්තේ එවකට මුදල් අමාත්‍යවරයා වූ ගරු මංගල සමරවීර මැතිතුමාගේ සමයේදී ය. දේශීය හා විදේශීය මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂිත සළකුණු යෙදීම සදහා BOO (Build, Own, Operate) ක්‍රමය යටතේ “ආරක්ෂිත ස්ටිකර හා ආරක්ෂිත ස්ටිකර කළමනාකරණ පද්ධතිය” ක් සැපයීම සඳහා ජාත්‍යන්තරව ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇත. ඒ අනුව අවම මිළ ගණන් ඉදිරිපත් කරන ලද MSP ආයතනය වෙත 2017.10.17 දින අංක 17/2322/719/001 – ii දරන අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ එම ටෙන්ඩරය පිරිනමා ඇත.

2. මෙම ආරක්ෂිත ස්ටිකර හා ආරක්ෂිත ස්ටිකර කළමනාකරණ පද්ධතියට අදාළ 2019.06.20 දිනැති හා අංක 04/2019 දරන සුරාබදු නිවේදනය නිකුත් කරන ලද්දේ ද එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් ගරු මංගල සමරවීර මැතිතුමා විසිනි. එසේ තිබියදී එම කොන්ත්‍රාත්තුව වර්තමාන මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් MSP ආයතනය වෙත ලබාදුන් බවට කර ඇති ප්‍රකාශය සාවද්‍ය මෙන්ම දේශපාලන අභිලාෂයන් පදනම් කරගත් නොමග යවන සුළු ප්‍රවෘත්තියකි.

3. මෙම ටෙන්ඩරයට අදාළ ගිවිසුම අනුව ආරක්ෂිත ස්ටිකර් 1000 කට ඇ.එ.ජ. ඩොලර් 5.99 ක් රජය විසින් MSP ආයතනය වෙත ගෙවිය යුතු ව ඇත. ඒ අනුව එක් ආරක්ෂිත ස්ටිකරයක් සඳහා ගෙවිය යුතු වන්නේ රුපියල් 1.21 ක් පමණි. එබැවින්, ශ්‍රී ලංකා රජය විසින් රුපියල් 1.21 ක් පමණක් ගෙවනු ලබන එක් ආරක්ෂිත ස්ටිකරයක් සදහා MSP ආයතනය විසින් රුපියල් 1.50 ක මුදලක් ආපසු යම් පාර්ශ්වයකට ගෙවනු ලබන බවට කර ඇති ප්‍රකාශය සාවද්‍ය, පදනම් විරහිත මෙන්ම නොමග යවන සුළු ප්‍රවෘත්තියකි.

4. “ආරක්ෂිත ස්ටිකර හා ආරක්ෂිත ස්ටිකර කළමනාකරණ පද්ධතිය” ක්‍රියාත්මක කිරීම සඳහා 2019.07.20 වන දින සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියළුම විදේශීය මත්පැන් මත ආරක්ෂිත ස්ටිකර් යෙදීම ආරම්භ කරන ලදී. තවද, 2022.01.03 වන දින සිට දේශීය වශයෙන් නිපදවනු ලබන මත්පැන් නිෂ්පාදන මත ආරක්ෂිත සළකුණු යෙදීම සිදු කිරීමට නියමිතය.

මාධ්‍ය අංශය

මුදල් අමාත්‍යාංශය

Press Release