ඉන්දීය විදේශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක්

දින හතරක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඇතුළු දූත පිරිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවෙයි. අද (04) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී හමුව සිදු විය. ද්වීපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණ දීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

කොරෝනා වසංගතය හමුවේ කලාපීය බලවතකු ලෙස සේම අසල්වැසි රාජ්‍ය ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දෙමින් සිටින සහය අගය කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් එම සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බවයි.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් මෙරට ආර්ථික ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය සහය ලබා දීමට සූදානම් බව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙහි දී මුදල් අමාත්‍යවරයා හමුවේ සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වෙත යොමු කරවීමේ හැකියාව සොයා බලන බවයි.

ඉන්දියානු නියෝජ්‍ය විදේශ ලේකම් නිදි චෞද්රි සහ මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ. මුදල් අමාත්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා ද ඊට එක් විය.

මාධ්‍ය ඒකකය,

මුදල් අමාත්‍යාංශය