ඔස්ට්‍රේලියානු, නවසීලන්ත මහ කොමසාරිස්වරු සහ ප්‍රංශ තානාපතිවරයා මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හමුවෙති.

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් David John Holly නවසීලන්ත මහ කොමසාරිස් Michael Edward Appleton සහ ප්‍රංශ තානාපති Eric Lavertv යන මහත්වරු අද (04) මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ. මුදල් අමාත්‍යංශයේ පැවති මෙම හමුවේ දී අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් තම රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කාබනික වගා වැඩසටහන අගයකළ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට අදාළ තාක්ෂණික සහය ලබාදීම තම රජය අපේක්ෂා කරන බවයි.ශ්‍රී ලංකා මුහුදු කලාපය හරහා ඔස්ට්‍රේලියාව වෙත ළඟා වන වෙළෙඳ නැව් සඳහා පහසුකම් ලබා ගැනීමට කොළඹ වරාය වැඩි වශයෙන් යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බවද මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසීය. පශු සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ මහ කොමසාරිස්වරයා සත්ත්ව ආරක්ෂණ හා සුභසාධන පනත ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම පිළිබඳ තම රට සතුටට පත්වන බව ද පැවසීය.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ස්ථාපනය කිරීමට යෝජිත අගය එකතු කළ කෘෂි නිෂ්පාදන (Value Added Agriculture Products) සඳහා වූ විශේෂ ආර්ථික කලාපය වෙත ආයෝජන සහ තාක්ෂණික සහාය ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් කළේය. 

ශ්‍රී ලංකාවේ සිසුන් විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වන බව සඳහන් කළ මහ කොමසාරිස්වරයා එරට ඉහළ පෙලේ විශ්ව විද්‍යාල හා ඒවාට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට ඇති හැකියාව සොයා බලන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රංශ තානාපති Eric Lavertv මහතා මෙහිදී සඳහන් කළේ කුඩා සත්ව නිෂ්පාදන ගොවිපල හයක් (Mini Dairy Farms) ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ප්‍රංශ රජය කටයුතු කර ඇති අතර ඉන් හතරක කටයුතු අවසන් අදියරට ළඟා වී ඇති බවයි. සංචාරක කර්මාන්තය යළි සක්‍රීය කිරීමේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට කැමැත්ත පළ කළ තානාපතිවරයා ගුණාත්මකභාවයෙන් ඉහල ලංකා තේ සඳහා ප්‍රංශ වෙළෙඳපොළ තුළ වැඩි අවස්ථාවක් ලබාදීමට අවශ්‍ය පහසුකම් සැපයීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් පැවසීය. 

මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ නවසීලන්ත මහ කොමසාරිස් Michael Edward Appleton මහතා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අධ්‍යාපන සහ ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන අතර ම එම ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව සහාය ලබාදීමට අපේක්ෂා කරන බවද පැවසීය. මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට තම රජය කැමැත්තෙන් පසුවන බවද මහ කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පවතින තත්වය හමුවේ ආර්ථික සහ සමාජයීය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා සිය මිත්‍ර රටවලින් ලැබෙන සහය නිරන්තරයෙන් අගය කරන බව සඳහන් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රජය සෙසු රටවල් සමඟ නොබැඳී පිළිවෙතට මුල්තැන දෙමින් සුහදශීලීව කටයුතු කිරීමට කැප වන බව ද පැවසීය.

 

මාධ්‍ය ඒකකය,

මුදල් අමාත්‍යංශය