මොරටුව විශ්ව විද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරීම සහ උපකරණ සැපයීමේ ව්‍යාපෘතිය සදහා කුවේටි ඩිනාර් මිලියන 10 ක් (රුපියල් මිලියන 6,600 ක) කුවේට් ණය ආධාර

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ප්‍රවේශය ඉහළ නැංවීම සහ රට තුළ වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා මානව ප්‍රාග්ධන සංවර්ධනය සදහා වෛද්‍ය පීඨයක් මොරටුව විශ්ව විද්‍යාලයේ ස්ථාපනය කිරිමට නියමිතය.

ඉහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපෘතියට මුදල් යෙදවීම සඳහා කුවේට් ඩිනාර් මිලියන 10 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 6,600) ණය මුදලක් ලබා දීමට අරාබි ආර්ථික සංවර්ධනය සදහා වූ කුවේට් අරමුදල එකඟ වී තිබේ.

මෙම පීඨය කළුතර ශික්ෂණ රෝහල අසල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය පීඨය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණය සහ අනෙකුත් යටිතල පහසුකම් ඉදිකිරීම, අධ්‍යාපනික ගෘහ භාණ්ඩ හා මෙවලම් සැපයීම, විද්‍යාගාර උපකරණ සහ වෙනත් භාණ්ඩ සැපයීම ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතිය 2022-2026 කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ.

මෙම ණය ආධාර සදහා අදාළ ණය ගිවිසුම 2022 පෙබරවාරි 03 දින, මුදල් අමාත්‍යාංශයේදී ගරු මුදල් අමාත්‍ය බැසිල් රාඡපක්ෂ මහතාගේ හා කුවේට් තානාපති අතිගරු කාලාෆ් ඇම්.ඇම්.බූ ඩේර් මහතාගේ සහභාගීත්වයෙන් අත්සන් කළ අතර, ඒ සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සහ කුවේට් අරමුදල වෙනුවෙන් එහි නියෝඡ්‍ය අධ්‍යක්ෂ ඡනරාල් නෙඩාල් ඒ. අල්. ඔලායාන් මහතා අත්සන් තබන ලදි.

මුදල් අමාත්‍යාංශය

කොළඹ 01

2022 පෙබරවාරි 03 දින.

Press Release | Sinhala

Press Release | English